දෙවියන්ගේ දරුවෝ – Children of Heaven

ජූලි 14, 2010 at 3:24 ප.ව. (Drama) (, , )

හප්පා…ලියන්න හිතං හිටිය මාතෘකාවට ඕනෙ අටුවා ටීකා ටික යාන්තං ලියලා ඉවර වෙලා මේ දැනුයි ඕන වුන එක ලියන්න යන්නෙ.හිහ් හිහ්… 😀 ශ්‍රී ලාංකීය අනන්‍යතාව තියාගන්නත් එපෑ. මේවා ඉතිං විචාර කිවුවට විචාරමත් නෙවේ.මගේ මොළේට තේරෙන තරම තමා ඉතිං. මේ දවස්වල ඉබ්බ බලන්නෙ ප්‍රධාන එහෙමත් නැත්තං ජනප්‍රිය ධාරාවෙන් පොඩ්ඩක් පිට තියන ෆිල්ම්.ඉබ්බට මෙහෙම කරන්න හේතු වුනේ ජනප්‍රිය ෆිල්ම් බලලා බලලා එපා වීමම තමා.එක ආරක ෆිල්ම් දිගටම බලලා එපා වෙන නිසා දැං ඉබ්බා එකේක ජාතියේ ෆිල්ම් බලනවා.මේ වැඩේට ආසන්නතම උදවුව වෙලා පාර කැපුනේ බූන්දි එකේ තිබුන හොඳ ලිපියක් නිසා.ඒක තිබ්බේ චිත්‍රපටියක් ගැන වගේ තමා මතක.එතනිං වචන ටිකක් අහුලගෙන සුපුරුදු පරිදි විකිපීඩියාව මස් කළාම තව ගොඩාක් ෆිල්ම් සහ විස්තර ලැබුණා.එහෙම තමා මේ එකේක ෆිල්ම් ජාති බලන්න ඉබ්බා සෙට් වුනේ.හැබැයි ඉතිං යාළුවොත් සුපුරුදු පරිධි වෙනස් වෙනස් ෆිල්ම් දෙනවා 🙂 .ඉබ්බා බලනවට වඩා වෙනස් විධි වල  ඩ්‍රාමා ෆිල්ම් කිරි ඉබ්බිත් හරි හරියට උස්සං එනවා. ඇයි කාර්ටූන්? ඒවත් ඉතිං කිරි ඉබ්බිම තමා ගේන්නෙ.මේ මදෑ කෝට්ටෙ ගියා.එහෙනං ෆිල්ම් එකක් ගැන කියන්නම් නේද?

මේ ෆිල්ම් එක ඉරානියන් ෆිල්ම් එකක්.නම තමා දෙවියන්ගේ දරුවෝ(Children of Heaven).හදලා තියෙන්නෙ මජිඩ් මජිඩි කියන අධ්‍යක්ෂකවරයා 1997දි.දෙබස් තියෙන්නෙ පර්සියන් භාෂාවෙං.1998දී මේක විදේශීය භාෂාවකින් හැදුන හොඳම චිත්‍රපටියට හිමි ඇකඩමි සම්මනයට නිර්දේශ වෙලා තියනවා.මේ ෆිල්ම් එක අභිබවා ජයග්‍රහණය කරපු ලයිෆ් ඊස් බියුටිෆුල් ෆිල්ම් එකත් තවත් ලස්සන ෆිල්ම් එකක්. ඒක ගැනත් ඉබ්බ ලියන්නයි ඉන්නෙ 🙂 .

ඕගොල්ලන්ට මතකද අර ඉස්සර(ඉබ්බා පැටියා කාලෙ 😛 ) රූපවාහිනියේ ගියා පුංචි ඉත්තෑවයි, පුංචි ඇත් පැටියයි කියලා හරිම ලස්සන ළමා ටෙලි ෆිල්ම් 2ක්.ඒක මං හිතන්නෙ ජපානෙ එන් එච් කේ එකෙං ලැබුනු ඒවා වෙන්න ඕනෙ.ඒවා කොච්චර ලස්සනද?මේ ෆිල්ම් එකක්ත් ඕල්මෝස්ට් ඒ ගොඩට වැටෙනවා 🙂 .

කතා නායකයා අවුරුදු 9ක් වයස අලී.අලී එක්ක කතාව පුරාවටම රැඳිලා ඉන්නෙ අලීගෙ අවුරුදු 6ක නංගී සාරා.මුළු කතාවම ගෙතිලා තියෙන්නෙ සපත්තු කුට්ටමක් නිසා පුංචි ලෝකයක ඇති වෙන පෙරළියක් ගැන.මජීඩ් මජිඩි අධ්‍යක්ෂකවරයා බොහෝම කල්පනාවෙන් සිදුවීම ගලාගෙන යන විධියට සුමටව අමුණලා තියනවා.පරස්පර විරෝධී සිදුවීම් නොදුටු තරම්.ඉරානයේ ජන සමාජය, සිතුම් පැතුම් ආදිය ගැන වටිනා අවබෝධයක් ප්‍රේක්ෂකයාට දෙන්න ඔහු සමත් වෙලා තියනවා.විශේෂයෙන්ම පුරුෂාධිපත්‍යටත් දැඩි ආගමික දේශපාළනික නීති සහ හර පද්ධතියකට නතුවී පීඩිතව තිබෙනවා යයි බටහිර රටවල් හෙළාදැකීමට භාජනය කරන ඉරානය ඉන් ඉහළට ඔසවා තබන්නට අධ්‍යක්ෂකවරයා හොඳ උත්සාහයක් ගෙන තිබෙනවා.එම උත්සාහය සාර්ථක වග පෙනෙන්නේ ඔහුට මෙවැනි චිත්‍රපටයක් සෑදීමටත් එය ජාත්‍යාන්තර චිත්‍රපට උළෙලවල් වලට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම සහ මානසිකත්වයක් තිබීමම එයට සාක්ෂියක් වීමයි.

ඉරානයේ දියුණු නගර, ඒවා ආසන්නයේ නාගරික කුළී පැල්පත් වල අමාරුවෙන් දිවි ගෙවන දුප්පත් ජනතාව, ඔවුන්ගේ සිතුම් පැතුම්, නාගරික ධනවත් ප්‍රජාව, කොටිංම සම්පත් අඩු දුප්පත් ඉස්කෝල, සුඛෝපභෝගී පාසල් වලට යන චීස් බෝල වගේ ළමයි පවා සුළු සුළු කොටස් වල පෙන්වීමෙන්ම අධ්‍යක්ෂකවරයා ඉරාන සමාජ විෂමතාව ඇතුලු රටේ ස්වභාවය ගැන හොඳ හෙළිදරවුවක නිරත වෙනවා.

ඊට අමතරව දහසකුත් අඩු ලුහුඬුකම් මැද ජීවත් වෙන කුඩා දරුවන් දෙදෙනා තමන්ගේත් තම පවුලේත් අමාරුකම් හොඳින් වටහාගෙන ක්‍රියා කරන ආකාරය මේක බලන පොඩි ළමයි කාට වුනත් හොඳ ආදර්ශයක් සපයනවා.විශේෂයෙන්ම පොඩි ළමයින්ව අභව්‍ය සීනි බෝල ලෝකයක අතරමං කරන්න හදන අවදියක පොළවේ පය ගහලා ජීවත් වෙන්න කියලාදෙන ෆිල්ම් එකක් හම්බු වෙන්නෙත් බොහොම කලාතුරකින්නෙ.දුක් කම්කටොළු නැති ළමයි වුනත් මේ වගේ එකක් බලලා ලෝකෙ මෙහෙමත් වෙනවා කියලා මානුෂික හැඟීම් ඇති කරගන්නවනම් අනාගතයේදි අදට වඩා මනුස්සකං දන්න පිරිසක් බිහි වෙන්න ඉඩ තියනවා(කොහෙද ඉතිං ටී වී එක දැම්මොත් අර ස්ටාර් මේ ස්ටාර්, බට්ටි, පබා, මහ ගෙදරනෙ තියෙන්නෙ.කාර්ටුන් කියලත් තියෙන්නෙ අනුන්ට හිංසා කරන යක්කු වගේ අප්සට් මානසිකත්ව තියන හප්පො ඉන්න ඒවනෙ.කිරි ඉබ්බි තමා මේ වග ඉබ්බටත් පෙන්නලා දුන්නෙ 🙂 ).

අලීගෙයි සාරගෙයි චරිත වලට පණ දෙන කුඩා නළු නිළි යුවලගේ රංගනයත් බොහොම ඉහළ තලයක තියනවා. ෆිල්ම් එක සිදුවීමෙන් සිදුවීම සාකච්ඡා කරන එකනං ඉබ්බා හිතලමයි මග ඇරියෙ.කුතුහලය තියනවට කැමති අයත් ඉන්නවනෙ. ඉබ්බ මේක ඉන්ටර්නෙට් එකෙං තමා ඩවුන්ලෝඩ් කළේ.මේකට ඉබ්බා හදපු සිංහල සබ්ටයිටල් ෆයිල් එකකුත් තියනවා.හැබැයි ඒකට යුනිකෝඩ් සබ්ටයිටල් සපෝර්ට් කරන කේ එම් ප්ලේයරේ වගේ එකකුත් බාගන්න වෙයි.නැත්තං ඩී වී ඩී ෆ්ලික් එකට දීලා සබ්ටයිටල් ඩී වී ඩී එකකට අමුණගන්න. එතකොට නං ඔය කොයි ප්ලේයරෙත් සිංහලෙං සබ්ටයිටල් පේනවා.වෙලාව තියනවනං මේක බැළුවට පාඩු වෙන එකක් නෑ.හැබැයි විඩාව නිවා ගන්න පාවිච්චි කරන්න පුළුවං ෆැන්සි ෆිල්ම් එකක් නං නෙවෙයි.ඩ්‍රාමා වලට කැමති නං මේක සුපර්බ්.

සිංහල සබ්ටයිටල් ෆයිල් එක ඕනෙ නං ඉබ්බට මේල් එකක් දාන්න. ibikatha@gmail.com 🙂

Advertisements

Permalink ප්‍රතිචාර 4